ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ දායකත්වයෙන් FACETS Sri Lanka 2024 ප්‍රදර්ශනයේ සමාරම්භය උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ දායකත්වයෙන් FACETS Sri Lanka 2024 ප්‍රදර්ශනයේ සමාරම්භය උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී

30 වැනි වරටත් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS ශ්‍රී ලංකා හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගී දායකත්වයෙන් ජනවාරි මස 06 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Atrium Lobbyහී දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු  කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහභාගී වූ අතර ප්‍රාථමික කර්මාන්ත ගරු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සභාපති විරාජ් ද සිල්වා මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සමඟ එක්වී සිටියහ.

FACETS ප්‍රදර්ශනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ශ්‍රී ලංකාව සතු පොහොසත් උරුමය ලොවටම විදහා දක්වන මහඟු අවස්ථාවකි. මෙවර ද අප රටේ අද්විතීය මැණික් හා ස්වර්ණාභරණ  ප්‍රදර්ශනය කරමින්  ලොව පුරා සිටින කීර්තිමත් ගැනුම්කරුවන්ගේ  ආකර්ෂණය මෙරට වෙත ලබාගැනීම මෙහි අරමුණ විය.

මැණික් ප්‍රදර්ශන කුටිය, ප්‍රධාන  ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටිය, පුරෝගාමී   තිරසාර ප්‍රදර්ශන කුටිය, දුර්ලභ මැණික් නිර්මාණ කුටිය, NGJA SME කුටිය සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ කුටිය ඇතුළු ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ උරුමය අනුසාරයෙන් නිර්මාණය කරන ලද සුවිශේෂී ප්‍රදර්ශන කුටි රැසකින් 30 වැනි FACETS ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සමන්විත විය.මෙම සෑම ප්‍රදර්ශන කුටියක්ම ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කලාව පිළිබඳව අද්විතීය ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කරමින් නරඹන්නන් වෙත ද නැවුම් මෙන්ම වටිනා අත්දැකීමක් එමඟින් පිරිනමන ලදී.

මෙරට මැණික් කර්මාන්තයේ ආරම්භයේ සිට වර්තමානය දක්වා විහිදෙන වසර 2500ක පමණ දිගු ඓතිහාසික විකාශනය හා ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ආකර්ෂණීය ගමන් මඟ මෙහි , පුරෝගාමී තිරසාර ප්‍රදර්ශන කුටිය ඔස්සේ විදහා දැක්විය .එමෙන්ම දුර්ලභ මැණික් නිර්මාණ කුටිය තුළින් මෙතෙක් ලොව කිසිදු ස්ථානයක දක්නට නොලැබුණු ආකාරයේ විශාල මැණික් සහ අසමසම මැණික් කොටස් ප්‍රදර්ශනය කෙරිණි.

සම්ප්‍රදායික උරුමය මෙන්ම නවෝත්පාදනයන් එකිනෙකට මුසුකරමින් ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් මැණික් හා ස්වර්ණාභරණ කලාව පිළිබඳව පුළුල් දර්ශනයක් පිරිනමන  FACETS Sri Lanka 2024  නිසැකවම නරඹන්නන් වෙත අමතක නොවන අත්දැකීමක් ලබාදුන් අනර්ඝ අවස්ථාවක් විය.එය ශ්‍රී ලංකාවේ වටිනා උරුමයේ චමත්කාරය සහ තිරසාර බව ලොවටම විදහා දක්වමින් ශ්‍රී ලාංකීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අනාගතය  වෙත ආලෝකයක් වනු ඇත.