“ශ්‍රී ලංකාවේ යෝජිත බලශක්ති ව්‍යාපෘති සහ එමඟින් මෙරටට සිදුකරන බලපෑම” පිළිබඳ Sri Lanka Blue Green Alliance විසින් අවධාරණය කරයි

“ශ්‍රී ලංකාවේ යෝජිත බලශක්ති ව්‍යාපෘති සහ එමඟින් මෙරටට සිදුකරන බලපෑම” පිළිබඳ Sri Lanka Blue Green Alliance විසින් අවධාරණය කරයි

  • රටේ මුදල් මෙරට  තුළම ඉතිරි කරමින් නව විදෙස් ආයෝජන අවස්ථා සඳහා මඟ විවර කරයි
  • ආර්ථිකමය ප්‍රතිලාභ රැසක් සමඟින් ශ්‍රී ලාංකික ජන ජීවිතය ඉහළ නංවයි.
  • පිිරිසිදු බලශක්තිය තුළින් පාරිසරික තිරසාරභාවය ආරක්ෂා කරයි.

ශ්‍රී ලංකාව තුළ තිරසාර බලශක්ති ක්ෂේත්‍රයක් ගොඩනැංවීම පිළිබඳව සමාජ අවධානය වර්තමානය වන විට යොමු වී තිබේ. එබැවින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව නිවැරදි විමසුමක් සිදුකිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා Blue-Green Alliance තරුණ ව්‍යාපාරය මඟින් මාධ්‍ය හමුවක් අප්‍රේල් 04 වැනි දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබිණි.මෙහිදී ශ්‍රී ලංකා Blue-Green Alliance නියෝජනය කරන සාමාජික සාමාජිකාවන් රැසක් සිය අදහස් දක්වමින් පුනර්ජනනීය බලශක්තිය  තුළින්  මෙරටට ඇති බලපෑම පිළිබඳව පැහැදිලි  කතිකාවතක් ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා Blue-Green Alliance හී ලේකම් රාජිත අබේගුණසේකර විසින් පුනර්ජනනීය ව්‍යාපෘතිවල වැදගත්කම සහ සාම්ප්‍රදායික ගල් අඟුරු සහ ඩීසල් බලාගාර වෙනුවට පුනර්ජනනීය  බලශක්තිය වෙත යොමු වීමේ වැදගත්කම් පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළේය. “ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන්ද පුනර්ජනනීය  බලශක්තිය ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන්ට එරෙහිව සමාජය තුළ මුල්බැසගෙන තිබෙන විවිධ සාවද්‍ය මතවාදයන් නිසාම මෙහිදී අප පාරිසරික වශයෙන් සිදුවන බලපෑම පිළිබඳව වැඩි අවධානයක් දක්වමින් නිවැරැදි කරුණු ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙනවා. සම්ප්‍රදායික බලශක්ති උත්පාදනයේදී යොදාගැනෙන ඉන්ධන සහ ගල් අඟුරු භාවිතය නිසාම කාබන් විමෝචනය ඉහළ යන අතර එය කිසිසේත්ම පරිසරයට හිතකර නොවේ. ඊට සාපේක්ෂව පුනර්ජනනීය බලශක්තිය යනු පරිසර හානිය අවම පිරිසිදු බලශක්ති ප්‍රභේදයක් බව අපට ඉතා පැහැදිලියි. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් සිදු කිරීමේදී විවිධ පාරිසරික හානි සිදුවිය හැකි බවට ඇතැමුන් කිසිදු පදනමක් නොමැති මතවාදයන් ඉදිරිපත් කර තිබෙනවා .එහෙත් එම සෑම ව්‍යාපෘතියක්ම ආරම්භ කිරීමට පෙර දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිදුකර තිබෙන බොහෝ වාර්තාවන් සැලකිල්ලට ගැනෙන අතර පාරිසරික වශයෙන් පූර්ව පරීක්ෂණ සහ තක්සේරු කිරීම් රැසක් සිදුකරනවා. නිදසුනක් ලෙස, අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ මන්නාරම ප්‍රදේශයේ සුළං බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර එම භූමි ප්‍රදේශය පිළිබඳව  වසරක් පුරා අධ්‍යයනයන් සිදුකර ඇති අතර  The Ceylon Bird Club (CBC), The Field Ornithology Group of Sri Lanka (FOGSL) සහ රැම්සා දත්ත පත්‍රිකාවන් පිළිබඳව ද දැඩි අවධානය යොමු කර තිබෙනවා.ඒ වගේම ශ්‍රී ලංකාව සංක්‍රමණික පක්ෂී පියාසර මාර්ගයක පිහිටා තිබෙන බැවින්  මෙම ව්‍යාපෘති සඳහා ස්ථානයක් නිර්ණය කර ගැනීමේදී පක්ෂී සංක්‍රමණ මාර්ග සහ පාරිසරික සංවේදී ස්ථාන පිළිබඳව ද  වැඩි අවධානය යොමු කර තිබෙනවා. මෙහි  ටර්බයින ස්ථාපනය කර තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් සිදුකළ සුපරික්ෂාකාරී විමසුමකට පසුවයි. එපමණක් නොව, මීට අදාළ පක්ෂීන් සහ වවුලන් අධ්‍යයනය ඇතුළු පාරිසරික බලපෑම් ඇගයීම (EIA)  ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින් සිදුකර තිබෙන අතර  ඒ වෙනුවෙන් මෙම විෂය පථය ගැන ලොව කීර්තිමත් නාමයක් දිනා සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දේවක වීරකෝන් මහතාගේ අධීක්ෂණ  හිමිවී තිබෙනවා. තාක්ෂණය, පරිසරයට එරෙහි ප්‍රතිරෝධී බලවේගයක් වීමේ සුලභ සංසිද්ධියෙන් ඔබ්බට යමින් අදානි සමාගම මෙම ව්‍යාපෘතියේදී පාරිසරික තිරසාරභාවය රැකගැනීම වෙනුවෙන් නව තාක්ෂණය උපායමාර්ගිකව භාවිතා කර තිබීම ද  මෙම  පුනර්ජනනීය ව්‍යාපෘතිය තුළ දක්නට ලැබෙන සුවිශේෂී කරුණක්. පක්ෂීන් බහුලව සංක්‍රමණය වන කාලවලදී එය පහසුවෙන්ම හඳුනාගනිමින් ස්වයංක්‍රීයව ටර්බයින වසා දැමිය හැකි AI තාක්ෂණයෙන් බලගැන්වෙන  රේඩාර් පද්ධතියක් මේ ආශ්‍රිතව ක්‍රියාත්මක වන අතර මේ සඳහා භාවිතා කර ඇති උසින් වැඩි සහ අඩු තල භ්‍රමණයක් සහිත ටර්බයින මඟින් පක්ෂීන් ගැටීමේ අවධානම තවදුරටත් අවම කරයි. එපමණක් නොව, ධ්වනි හා දෘශ්‍ය ප්‍රතිරෝධකලවල අග තීන්ත ආලේප කිරීම වැනි උපක්‍රම  තුළින් ද  පක්ෂීන් ටර්බයින වෙත පියාසර කිරීම වැළැක්වීමට මෙහිදී  පියවර ගෙන තිබෙනවා.”

“පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුළින් ආර්ථික වශයෙන් අපේ රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ විමසීමේදී, ඉන්ධන පදනම් කරගත් සම්ප්‍රදායික බලශක්තියට සාපේක්ෂව මේ සඳහා වැයවන අවම පිරිවැය ඉතා වැදගත් වෙනවා.එනම් ඉන්ධන පදනම් කරගත් බලශක්ති උත්පාදනයේදී අපට  අමතර තීරු බදු ඇතුළු  අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර ඊට සාපේක්ෂව  පුනර්ජනනීය බලශක්තිය  බෙහෙවින්  ලාභදායකයි.  එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 60 අධික මුදලක්  අපේ රටට ඉතිරිවීමද ආර්ථික වශයෙන් සුබදායක කරුණක්. ඒ වගේම නව රැකියා අවස්ථාවන් රැසක් මෙමඟින් අපේ රට තුළ නිර්මාණය වීමත් සමඟ අපේ රටේ තිබෙන විරැකියා ගැටලුවට ද  මෙය හොඳ විසඳුමක් වෙනවා. මෙහිදී අපට ප්‍රාදේශීය වශයෙන් සිදුවන සංවර්ධනය ද අමතක කළ නොහැකියි .මෙවැනි ව්‍යාපෘතීන්ට සමගාමීව ඒවා පිහිටි ප්‍රදේශවල යටිතල පහසුකම් ද ගොඩනැගෙන අතර ඒ තුළින් ප්‍රදේශයේ ජන ජීවිතයද නිරායාසයෙන්ම ඉහළ නැංවෙනවා. අප රට තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් දියත් කරනු ලබන අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ මෙම ස්වාධීන බලශක්ති නිෂ්පාදනය තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය වෙත ආර්ථිකමය වාසි රැසක් පිරිනමයි. ඒ අතරින් වඩාත් වැදගත් ප්‍රතිලාභ ලෙස අවම උත්පාදන පිරිවැය  සහ ඒකක පිරිවැය අඩු අගයක් ගැනීම සඳහන් කළ හැකියි.”

මෙම අවස්ථාවට සහභාගිවෙමින් ශ්‍රී ලංකා Blue-Green Alliance හී සංවිධායක වින්ශද යසස්මිණි විසින් Blue-Green  ආර්ථික ප්‍රවේශයන් සහ එමඟින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සඳහා පහසුකම් සපයන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලදී.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හරහා මෙරට ජනතාවගේ සමාජීය පසුබිමට සහ ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා Blue-Green Alliance හී මාධ්‍ය ලේකම් දිලංක මධුරංග විසින් පැහැදිලි කළ අතර එය මෙම කාලෝචිත මාතෘකාව පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමට උපකාරී විය.  “වර්තමානය වනවිට අපේ රට මුහුණ දී තිබෙන ආර්ථිකමය පසුබෑමත් සමඟ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළින් මෙවැනි සුවිශාල විදේශ ආයෝජනයක් අපේ රටට ගලා ගෙන ඒම රටේ ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද ඉතාමත් වටිනා අවස්ථාවක්. එමඟින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන අතර  අපේ රටේ මුදල් වෙනත් රටකට ගලාගෙන යෑම වළකමින් එම මුදල් අපේ රට තුළම ඉතිරි කර ගැනීමේ හැකියාව ද හිමිවෙනවා. ඒ වගේම ආර්ථිකමය ගැටලු හමුවේ කලින් කලට පැනනඟින බලශක්ති අස්ථාවරභාවය වැනි  ගැටලු සඳහා ස්ථිරසාර විසඳුම් මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුළින් පිරිනමනවා. මෙම ප්‍රතිලාභයන් රටේ මූල්‍ය ගැටලු රාශියක් විසඳා ගැනීමට මෙන්ම සහනදායි ලෙස පාරිභෝගික විදුලි අවශ්‍යතාවයන් සපුරාලීමටද උපයෝගි වෙනවා. විදුලිබල පද්ධතියට වඩාත් පිරිසිදු බලශක්ති ක්‍රමවේදයන් එකතු කර ගැනීම ඔස්සේ  වාර්ෂික කාබන් විමෝචනය අවම කරමින් රටේ පාරිසරික තත්ත්වයට ද යහපත් මෙහෙවරක් මේ තුළින් ඉටු කරයි. එමඟින්  දෛනික ජන ජීවිතයට ද බාධා පමුණුවන දේශගුණික විපර්යාසයන් ඇතිවීම පාලනය කර ගැනීම කෙරෙහි ද කිසියම් බලපෑමක් සිදු කිරීමට  හැකියාව උදාවීම තවත් සුවිශේෂී ප්‍රතිලාභයක්. ඒ අනුව පාරිසරික තිරසාරභාවය ද වර්ධනය කරමින් සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා වන අගනා පියවරක් ලෙස මෙන්ම මෙරට පාරිභෝගික ජනතාව වෙත අඩු පිරිවැයකින් තම බලශක්ති අවශ්‍යතාවයන් සපුරා ගැනීමටත් , පිරිසිදු බලශක්ති ප්‍රභවයන් පරිභෝජනය කිරීමටත් අවස්ථාව උදාකරන ව්‍යාපෘතියක් ලෙස ද මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැදගත් වෙනවා.”

වර්තමානයේ අපේ රටේ දියත් කර ඇති මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ඇතුළු පුනර්ජනනීය  බලශක්ති ව්‍යාපෘතීන් සහ එම බලශක්ති ව්‍යාපාර මෙහෙයවන විදේශීය ආයෝජකයන් පිළිබඳව සමාජයේ ව්‍යාප්ත වී ඇති සාවද්‍ය මතයන් නිවැරැදි දිශානතිය කරා යොමු කිරීම කෙරෙහි මෙම මාධ්‍ය කතිකාවත බෙහෙවින් ඉවහල් විය. අපේ රටේ මුදල් මෙරට තුළම ඉතිරි කරමින් දැවැන්ත විදෙස් ආයෝජනයන් ආකර්ෂණය කරන මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් පිළිබඳ සමාජ අවබෝධය ඉහළ නැංවීම ඉතා වැදගත් කාලෝචිත ප්‍රයත්නයක් වේ.

මෙහිදී සභාව ආමන්ත්‍රණය කරමින් ශ්‍රී ලංකා නීල – හරිත සන්ධානයේ ප්‍රධාන ලේකම් රාජිත අබේගුණසේකර මහතා මෙසේ සඳහන් කළේය. “අපගේ සංවිධානයේ ප්‍රධාන අරමුණ වන්නේ හරිත ආර්ථිකය සහ හරිත බලශක්තිය ප්‍රවර්ධනය කිරීමයි.  දූපතක පිහිටි රාජ්‍යයක් ලෙස අපි අපගේ ස්වභාවික සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා පුනර්ජනනීය බලශක්තිය අපිට ඉතා වැදගත් වෙනවා.”

පසුගිය දිනවලදී  පාර්ලිමේන්තුවේදී ද මේ පිළිබඳ  කරුණු රැසක් සාකච්ඡාවට ලක්විය.

ජාතික විදුලිබල පද්ධතිය වෙත 50MW එකතු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් ටෙන්ඩර් කැඳවා තිබෙන බැවින් අදානි සමූහයේ 500MW ව්‍යාපෘතිය ප්‍රමාද කරන ලෙස ගරු කබීර් හෂීම් මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් සිදු කර තිබේ. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ , ‘යෝජිත ඒකක මිල ඇමරිකානු ඩොලර් ශත 7ක් බව ඔහු දැනගත්තේ ටෙන්ඩර් මඟින්’ බවයි. මෙමඟින් කබිර් හෂීම් මහතාට කිසියම් ප්‍රතිලාභයක් හිමිවන්නේද යන ගැටලුව ඔහුගේ මෙම අවදානම් සහගත ප්‍රකාශය තුළින් මතු වේ. මෙවැනි මිල හෙලිකිරීම් මඟින් 500MW ව්‍යාපෘතියට මෙන්ම 50MW ව්‍යාපෘතිය සඳහා අපගේ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය පිළිබඳ ලංසුකරුවන්ගේ විශ්වාසයට ද තර්ජනයක් ඇති කරනු ඇත. එම නිසා මෙම ප්‍රකාශය හුදෙක් දේශපාලනික ක්‍රියාවක් බව පසක් වන අතර එහි කිසිදු හරයක් ද නැත.ඒ අනුව නීල – හරිත සන්ධානය විසින් එම ප්‍රකාශයන්හි පදනම් විරහිත බව මෙන්ම එමඟින් රටේ පුරවැසියන්ට සිදුකරන අහිතකර බලපෑම පිළිබඳ  පෙන්වා දෙයි.