ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් IATA Regional Training Partner ජාලයට එක්වෙයි

ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් IATA Regional Training Partner ජාලයට එක්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ්, IATA Regional Training Partner ජාලයට ඇතුළත් වන ශ්‍රී ලංකාවේ එකම පුහුණු ආයතනය බවට පත්වීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය. ආසියානු කලාපය තුළ මෙම ගෞරවණීය තත්ත්වය හිමිකර ගැනීමට සමත් වී ඇත්තේ ආයතන 7 ක් පමණි. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් IATA Regional Training Partner තත්ත්වය හිමි ආයතනයක් වශයෙන් Safety Management Systems (SMS) for Maintenance and Repair Operations, IATA Competency-Based Training for Dangerous Goods Instructors සහ IATA Instructional Design යන පාඨමාලා හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙනු ඇත.

“ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් සමග පවතින හවුල්කාරීත්වය තවදුරටත් පුළුල් කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මින් ඉදිරියට IATA Regional Training Partner ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාවට IATA පුහුණු පාඨමාලා රැසක් හඳුන්වා දීමට ඔවුන්ට හැකියාව ලැබේවි. ගුවන් සේවා කර්මාන්තය පුනර්ජීවනයක් ලබමින් සිටින මේ මොහොතේ, එම කර්මාන්තයේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන දැනුම හා අත්දැකීම් අනාගත පරපුර වෙත ලබාදීම අත්‍යවශ්‍යයි. මේ හවුල්කාරීත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ පමණක් නොව කලාපයේම තරුණ තරුණියන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට හැකි වනු ඇතැයි කියා මා සිතනවා.” IATA Training හි අධ්‍යක්ෂිකා Stephanie Siouffi-Vareilhes මහත්මිය පැවසුවා ය. 

මීට පෙර අඛණ්ඩව 6 වතාවක් IATA සමග සම්බන්ධ ආයතන අතරින් ඉහළම කාර්යසාධනයක් සහිත පුහුණු ආයතනයක් ලෙස ඇගයීමට ලක් වූ ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ්, 2013 වසරේදී එහි බලයලත් ආයතන අතරින් විශිෂ්ටතම ආයතන 10 න් එකක් බවට පත් විය. ආරම්භයේ සිටම IATA බලයලත් පුහුණු ආයතනයක් ලෙස පැවති ශ්‍රීලංකන් එවියේෂන් කොලේජ්, IATA හි ජනප්‍රියම පාඨමාලා රැසක් ශ්‍රී ලංකාව හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. IATA Foundation in Travel and Tourism Diploma, IATA Travel and Tourism Consultancy Diploma, IATA/FIATA Cargo Introductory Diploma සහ IATA Airline Cabin Crew Qualification ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

“IATA සමග පවතින හවුල්කාරීත්වය තවත් පියවරක් ඉදිරියට රැගෙන යමින් Regional Training Partner තත්ත්වය හිමිකර ගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් අපගේ පාඨමාලා පරාසය පුළුල් කිරීමට මෙන්ම කලාපය තුළ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස අප සතු තත්ත්වය තවදුරටත් තහවුරු කරගැනීමට අවස්ථාව ලැබෙනවා. IATA සමග පවත්වාගෙන යන මේ හවුල්කාරීත්වය, ජාත්‍යන්තර සංචාරක සේවා ක්ෂේත්‍රයට විශිෂ්ටයන් බිහිකළ හැකි ගෝලීය වශයෙන් තරගකාරී ආයතනයක් බවට ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් ආයතනය පත්කිරීමට මහෝපකාරී වූ සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්.“ ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හි සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා පැවසී ය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ පුහුණු පාඨමාලාවන් පිරිනැමීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් ආයතනයට වසර 34 කට වැඩි පළපුරුද්දක් ඇත. එම ආයතනය මේ වනවිට ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ මාලදිවයින යන රටවල සිවිල් ගුවන් සේවා අධිකාරී ආයතනවල පිළිගැනීම මෙන්ම EASA, IATA සහ International Organization for Standardization (ISO) වැනි සුදුසුකම්ද හිමිකරගෙන තිබේ. එමෙන්ම එම ආයතනය Royal Aeronautical Society (RAeS) සහ European Aviation Maintenance Training Committee (EAMTC) යන සංවිධානවල සාමාජිකත්වයද දරයි. තවද ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන කිහිපයක් සමග අත්වැල් බැඳගෙන, ගුවන් සේවා හා ආයතනික පුහුණු පාඨමාලා රැසක් මෙරටට හඳුන්වා දීමටද ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් පියවර ගෙන තිබේ.

ඡායාරූපය : ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ්, IATA Regional Training Partner ජාලයට ඇතුළත් වන ශ්‍රී ලංකාවේ එකම පුහුණු ආයතනය බවට පත්වීම සඳහා ගිවිසුම් අත්සන් කරයි.

Source: Ada Derana