ශ්‍රී ලංකාවේ දැවැන්තම හොලිවුඩ් මංගල දර්ශනය ලෙස F1 චිත්‍රපටය Scope Cinemas වෙත

Off By Mic

Apple Original Films සහ Warner Bros. Pictures වෙතින් ගෙනෙන ත්‍රාසජනක F1 චිත්‍රපටයෙහි මංගල දර්ශනය, නිල දේශීය චිත්‍රපට ආනයනකරුවන් වන Liberty Lands, සහ Scope Cinemas විසින් Havelock City Mall හි Atrium හිදී තිරගතකරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ සාප්පු සංකීර්ණයක් තුළ පැවැත්වූ පළමු හොලිවුඩ් චිත්‍රපට මංගල දර්ශනය වන අතර, මෙම රාත්‍රිය, ප්‍රභූ අමුත්තන් රැසකගේ සහභාගීත්වය සහ පුළුල් මාධ්‍ය ආකර්ෂණයක් දිනා ගත්තේය.

පූර්ව-දර්ශන උළෙල Havelock City Mall හි Atrium පරිශ්‍රයට, ත්‍රාසජනක ෆෝමියුලා ධාවන පතයක ආශ්වාදය ගෙන ඒමට සමත් වූ අතර ඉන් අනතුරුව Scope Cinemas Multiplex හිදී පුළුල් IMAX තිරයේ විශේෂ දර්ශන වාරයක් පැවැත්විණි. ආරාධිතයින්ව ඉහළ තලයේ රසාස්වාදයක සහ නවමු සිනමා ශානරයකට රැගෙන යාමට මෙම රාත්‍රිය සමත්විය.

මෙම සුවිශේෂී මංගල දර්ශනවාරයේ ඇසිදුටු සාක්ෂිකරුවන් වෙමින් මෙරට ඉහළ තලයේ ආයතනික ප්‍රධානීන්, නළු නිළියන් සහ නිරූපිකාවන්, මාධ්‍යවේදීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, දේශීය චිත්‍රපට නිෂ්පාදකයින් සහ බෙදාහැරීමේ නියෝජිතයින්, විලාසිතා නිර්මාණකරුවන්, ප්‍රමුඛ පෙළේ මෝටර් රථ ධාවකයින් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසක් මෙම රාත්‍රිය සඳහා එක්වීය.

“මෙලෙස රතු පලස් මතින් දිගහැරුණු F1 හී මංගල දර්ශනය හුදෙක් ප්‍රදර්ශනාත්මක තිරගත වීමක් නොවේ, එය මෙරට සිනමාව සහ සංස්කෘතිය එකට එක්කොට සැමරීමකි. මේ හරහා ශ්‍රී ලංකාවේ චිත්‍රපට නැරඹීමේ කලාවේ ප්‍රමිතිය නැවත වරක් ඉහළ නැංවීමට හැකිවීම ගැන Scope Cinemas අප හදවතින්ම ආඩම්බර වන්නෙමු,” යනුවෙන් Scope Cinemas හි සභාපති නවීඩ් කාදර් මහතා පැවසීය.

“මෙරට චිත්‍රපට නරඹන්නන් සඳහා, ඔවුන්ට පෙර නොවූ විරූ ආකාරයේ නවමු වූ සිනමා අත්දැකීමක් සහිත, අමතක නොවන මතක සටහන් නිර්මාණය කිරීම සැමවිටම අපගේ ඉලක්කය වී ඇත. F1 චිත්‍රපටය සමඟින්, අපි හුදෙක් චිත්‍රපට ප්‍රදර්ශනයකට සීමා නොවී, හොලිවුඩ් සිනමා රසාස්වාදය මෙරට සිනමාශාලා තිර වෙත රැගෙන එන්නෙමු,” යනුවෙන් Scope Cinemas හි අලෙවිකරණ සහ මහජන සම්බන්ධතා ප්‍රධානී චැසී කෝටේස් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

“ශ්‍රී ලාංකීය සිනමා ප්‍රදර්ශන ක්‍ෂේත්‍රය දැවැන්ත ව්‍යාපාරික විභවයන්ගෙන් සමන්විතවූ සුවිසල් වෙළඳපොළකි. මීට පෙර ලෝකය පුරා ප්‍රමුඛපෙළේ ප්‍රධාන නගර වලට පමණක් සීමාවූ මෙවැනි සිනමා අත්දැකීම් වර්තමානයේ මෙරටදී අත්විඳීමට ලැබීම ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත පිබිදීමකි. මෙය  මෙම ක්ෂේත්‍රයේ සිටින අප සැමටම එකසේ ආඩම්බර විය හැකි මොහොතකි,” යනුවෙන් Warner Bros. හි නියෝජිත ඩැනියෙලා නොබිල් මහත්මිය පැවසුවාය.