
ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා පරිවර්තනීය මූල්‍ය සාක්ෂරතා මුලපිරීම් දියත් කරයි
2025 ජූලි මස 03 වන දින, ශ්‍රී ලංකා මහ බැංකුව “මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ පුළුල් දැක්ම හා සමගාමී ව ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා පෙර දැක්ම[1] යටතේ පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් දියත් කරමින් සිය මූල්‍ය අන්තර්ගතභාවය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. මෙම මුලපිරීම් මගින් මහජනතාවට නිවැරදි මූල්‍ය තීරණ ගැනීමට හා තිරසර ආර්ථික යහපැවැත්ම උදෙසා ඔවුන්ගේ මූල්‍ය හැසිරීම පරිවර්තනය කිරීම සඳහා ඔවුන්ට දැනුම, කුසලතා සහ ආකල්ප වලින් බලගැන්වීම අරබයා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම සහ උනන්දුව තහවුරු කරයි.
මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය (NFIS) හා සම්බන්ධිත මූල්‍ය සාක්ෂරතා පෙර දැක්මේ “අන්තර්ගත සැකසීම සහ සුසංගතකරණය” යන මූලිකාංගය යටතේ මෙම පරිවර්තනීය මුලපිරීම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. විසිරුණු මූල්‍ය අධ්‍යාපන වැඩසටහන් වෙනුවට රටේ සෑම ප්‍රදේශයක් ම ආවරණය වන පරිදි ඉහළ ප්‍රමිතියෙන් හා ගුණාත්මකතාවයෙන් යුතු වැඩසටහන්, ඒකාබද්ධ සහ ජාතික වශයෙන් සම්බන්ධීකරණය කරන ලද ප්‍රවේශයක් ස්ථාපිත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අධ්‍යාපනය පරිවර්තනය කිරීම සඳහා මෙම පෙර දැක්ම නිර්මාණය කර තිබේ.
පරිවර්තනීය දියත්කිරීම් තුළ කේන්ද්‍රීය මුලපිරීම වනුයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික දෙපාර්තමේන්තු සහ විෂය සම්බන්ධ බාහිර ප්‍රවීණයන්ගේ විශේෂඥ දැනුම යොදාගනිමින් නිරවද්‍ය, කාලීන සහ ප්‍රායෝගික භාවිතය සහතික කරමින් සකස් කරන ලද අධ්‍යාපන රාමුවක් වන ශ්‍රී ලංකාවේ පළමු පරිපූර්ණ මූල්‍ය සාක්ෂරතා විෂය මාලාව යි. ආර්ථික සහ මූල්‍ය පරිසරය, පුද්ගල මූල්‍ය කළමනාකරණය, ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය කළමනාකරණය, ඩිජිටල් සාක්ෂරතාව, මූල්‍ය පාරිභෝගික ආරක්ෂාව, සහ බදු සාක්ෂරතාව යන මෙම විෂය මාලාවේ “දැනුම් අංග” හරහා නිවැරදි මූල්‍ය තීරණ ගැනීමේ පදනම සකස් කිරීම සඳහා රාමුවක් නිර්මාණය කරයි. ස්ථාවර හා ඉහළ ගුණාත්මකතාවයෙන් යුතු ඉගෙනුම් අත්දැකීමක් සහතික කරමින් මෙම ප්‍රමිතිගත විෂය මාලාව මූල්‍ය අධ්‍යාපනය සහ මහජන දැනුම්වත්භාවය ඉහළ නැංවීමේ කාර්යය උදෙසා පුුළුල් දායකත්වයක් ලබාදෙයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ සහයෝගය ද ඇතිව මෙම විෂයමාලාව සාර්ථකව එළිදක්වන ලදී.
විෂය මාලාවට සමගාමීව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) සහය ඇතිව, අධික ණයගැතිභාවය, දුර්වල ඉතුරුම් පුරුදු සහ මූල්‍ය වංචා වැනි මූල්‍ය අභියෝග පිළිබඳ ව ගෙනහැර දක්වන අධ්‍යාපනික වීඩියෝ මාලා දෙකක් නිකුත් කරන ලදී. මෙම වීඩියෝ හරහා ලබාදෙන වැදගත් පණිවිඩ ජනගත කිරීම සඳහා එකතු වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මාධ්‍ය ආයතන, අධ්‍යාපනඥයන්, සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් සහ ප්‍රජා නායකයන් ඇතුළු සියලුදෙනා ට ම ආරාධනා කර සිටියි.
තිරසරභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) සමග සැකසූ, මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ සහතික ලත් පුහුණුකරු පාඨමාලාව (CTFL), ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර ඇත. රටේ සියලු ජනතාවට ස්ථාවර හා ඉහළ ගුණත්වයෙන් යුත් ප්‍රමිතිගත ක්‍රමවේද හා සම්පත් වලින් සමන්විතව මූල්‍ය අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කරගනිමින් විශේෂයෙන් ම, බැංකු සහ රාජ්‍ය අංශයේ ආයතනවලින් වාර්ෂික ව සුදුසුකම්ලත් පුහුණුකරුවන් 100ක් පමණ බිහි කිරීම උදෙසා මෙම වැඩසටහන නිර්මාණය කර තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම, මෙම දියත් කිරීමේ තවත් වැදගත් මුලපිරීමක් වන අතර එමගින් මූල්‍ය අධ්‍යාපනයේ නවෝත්පාදන සහ පර්යේෂණ ශක්තිමත් කෙරෙන උපායමාර්ගික හවුල්කාරීත්වය තහවුරු වේ. මෙම සහයෝගීතාව මගින් සියලු ම මූල්‍ය සාක්ෂරතා උත්සාහයන්හි දී තොරතුරු මත පදනම් වූ ප්‍රවේශ සහ මූල්‍ය අධ්‍යාපන අංශ සඳහා මහ බැංකුවේ ඇති කැපවීම නිරූපණය කරයි.
උපුටා ගැනීම : අද දෙරණ