ශ්‍රී ලංකා අන්තර් පාසල් නව නිපැයුම් ඇගයීමේ තරඟාවලිය, ‘INCOHST 2025’ මෙවරත් නවලෝක උසස් අධ්‍යාපන ආයතනය විසින් අති සාර්ථකව නිම කෙරේ.

Off By Mic

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ නවෝත්පාදන දක්ශතා ඇගයීමේ සුවිශේෂී තරගාවලියක් වන ‘INCOHST – Inter School IoT Competition 2025’ ජූනි මස 21 වැනිදා, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේහි, ඒට්‍රියම් ශාලා පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය. නවලෝක උසස් අධ්‍යාපන ආයතනයෙහි (NCHS) මූලිකත්වයෙන් සහ ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ  අනුග්‍රහයෙන් පවත්වන ලද ‘INCOHST 2025’ තරඟාවලිය සඳහා දිවයින පුරා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සහභාගී වූ අතර, නවීන තාක්ෂණය නිර්මාණශීලීව යොදාගනිමින් සැබෑ ලෝකයේ අභියෝග විසඳිය හැකි ආකාරය මෙහිදී ඉදිරිපත් විය.

නවලෝක උසස් අධ්‍යාපන ආයතනයෙහි උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී, වික්ටර් රාමණන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, සිසු දරුවන් තුල පවතින නවෝත්පාදන හැකියාවන් හි කැපී පෙනෙන දියුණුවක් දැකගත හැකි බවත්, ‘INCOHST’ යනු තරගයකට පමණක් සීමා නොවූ, සිසු දරුවන් හට ඔවුන්ගේ නවෝත්පාදන අදහස්, ඵලදායි විසඳුම් බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙන වේදිකාවක් බවයි. මෙම දක්ෂතා තවදුරටත් පෝෂණය කිරීම මගින් නවෝත්පාදන හැකියාවෙන් පිරි, දක්ෂ අනාගත පරපුරක් ගොඩනගා ගත හැකි බවට ඔහු තවදුරටත් අවධාරණය කළේය.

සහභාගී වූවන් පිළිගනිමින්, ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලයෙහි අධ්‍යයන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ, ආචාර්ය ඇඩම් බේකර් මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා, නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සමඟ හවුල් වීමට ලැබීම පිළිබඳව ඔවුන් ආඩම්බර වන බවයි. ‘INCOHST’ වැනි ව්‍යාපෘති මගින් කුඩා අවධියේ සිටම පාසල් සිසුන් තුල පවතින නිර්මාණශීලිත්වය සහ තාර්කික චින්තන හැකියාවන් විවර කරලීමට සමත් වෙන බවත්, එය අනාගත විචාරශීලි නායකයන් බිහි කිරීමට උපකාරි වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

‘INCOHST’ යනු හුදෙක් පාසල් සිසුන්ගේ තරගයක්ම පමණක් නොවන අතර එමගින් කාලීන ගැටලු සඳහා තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කිරීමට පාසල් නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සිදු කිරීමත්, ඔවුන්ගේ නවෝත්පාදනයන් සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට මගපෙන්වීම ලබා දීමත්, නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව හා එක්ව සිදුකරයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද මෙම තරගාවලියට පාසල් 55ක් නියෝජනය කරමින් කණ්ඩායම් 101ක් සහභාගි වූ අතර, එයින් පාසල් 28ක කණ්ඩායම් 44ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූහ.

හොරණ ශ්‍රී පාලි විද්‍යාලයේ ‘නියුරෝපප්’ (Neuropup) ව්‍යාපෘතියට තරඟයේ ප්‍රථම ස්ථානය හිමි වූ අතර, දෙවන ස්ථානය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ‘ඔපරේශන් ක්ලීන් ස්ට්‍රීට්’ (Operation Clean Street – OCS) ව්‍යාපෘතියටත්, තෙවන ස්ථානය බොගවන්තලාව ශාන්ත මේරි විද්‍යාලයේ ‘ස්මාර්ට් සිටි’ (Smart City) ව්‍යාපෘතියටත් හිමි විය. එමෙන්ම, විශේෂ සම්මාන අතර, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හොඳම සංකල්පය සඳහා හිමි සම්මානයත්, මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයට හොඳම ඉදිරිපත් කිරීමට හිමි සම්මානයත්, මීගමුව JMC ජාත්‍යන්තර පාසලට හොඳම නවොත්පාදන ආකෘතියට හිමි සම්මානයත් හිමි විය. එමෙන්ම විශිෂ්ටතම ගුරු සහයෝගීතා සම්මානය ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ පියල් රංජිත් ගුරු මහතාට හිමිවිය.

මෙම අවස්ථාව සඳහා ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලයෙහි අධ්‍යයන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ, අචාර්ය ඇඩම් බේකර් මහතා, නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ පීඨාධිපති ඇලන් රොබට්සන් මහතා, නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරි දිලිනි ගුණතිලක මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා වාසනා එදිරිසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරි නලින් දොළවත්ත මහතා යන මහත්ම මහත්මීන් සහභාගි විය.

නවලෝක උසස් අධ්‍යාපන ආයතනය, නවලෝක සමූහ ව්‍යාපාරයේ එක් ආයතනයක් වන අතර, ඔවුන් ගුණාත්මක උසස් අධ්‍යාපන සේවාවක් ලබා දීමට කැප වී සිටියි. එමෙන්ම, එහි ශාඛා කොළඹ සහ මහනුවර නගරයන්හි ස්ථාපිතව ඇත. ශ්‍රී ලංකාව,ආසියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරිම, නවලෝක උසස් අධ්‍යාපන ආයතනයෙහි අපේක්ෂාව වන අතර, එහි පවත්නා නවීන පහසුකම් සහ ලොව පුරා පිළිගත් විශ්වවිද්‍යාල සමග පවත්නා මෙවන් සබඳතා මගින්, ශ්‍රී ලාංකික සිසු සිසුවියන් හටගෝලීය මට්ටමේ, ඵලදායි උසස් අධ්‍යාපන අත්දැකීමක් ලබා දීමට කටයුතු කරයි.