යූනියන් ඇෂුවරන්ස්, ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට ‘Blog It Symposium 2025’ පවත්වයි

Off By Mic

ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට පැවැත්වෙන ආකාරයේ වැඩසටහනක් ලෙස ‘Blog It Symposium 2025’ අභිමානයෙන් යුතුව සංවිධානය කරනු ලැබුවේ තවත් කැපීපෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. පොදු ජනතාවට විවෘතව පැවති මෙම අවස්ථාවට ප්‍රධාන දේශනය පැවැත්වූ අශෝක් ෆෙරී මෙන්ම ලාල් මැද්වත්තෙගෙදර, චිරන්ති රාජපක්ෂ, ධර්ම ශ්‍රී කාරියවසම්, සාවිත්‍රි රුද්‍රිගු සහ මහාචාර්ය කෝපලපිල්ලෙයි අමිර්තලිංගම් ඇතුළු සාහිත්‍ය ලෝකයේ සම්භාවනීයයන් පිරිසක් සහභාගි වූහ. මෙම සම්භාෂණයට දැනුම බෙදාහදා ගැනීම සහ අනාගත ලේඛක ලේඛිකා පරපුර දිරිගැන්වීම අරමුණු කරගත් සක්‍රිය සංවාද මණ්ඩප සහ විශේෂිත වැඩමුළු ඇතුළු සහභාගිත්ව වැඩසටහන් පෙළක් ඇතුළත්ව තිබිණි. එයට අමතරව, යූනියන් ඇෂුවරන්ස් Blog It 3.0 තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ ජයග්‍රහණ විදහා දැක්වෙන සම්මාන උළෙලකින් වැඩසටහන අවසන් විය.    

Blog It Symposium 2025’ යනු ජනතාව දැනුවත් කිරීම සහ සිය මූල්‍ය අනාගතය නිවැරදි දෙසට යොමුකර ගැනීම සඳහා සියලු දෙනා සවිබල ගැන්වීම උදෙසා යූනියන් ඇෂුවරන්ස් සතු අඛණ්ඩ කැපවීමෙහි දිගුවක් වන Blog It නමැති පුළුල් වැඩසටහනෙහි එක් පියවරකි. ජීවිත රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සැමරීම සඳහා ක්ෂේත්‍රයට ප්‍රථම වරට හඳුන්වාදෙන ලද නව වැඩසටහනක් ලෙස 2022 වසරේදී ආරම්භ කරන ලද Blog It වැඩසටහන සැලසුම් කරන ලද්දේ විශේෂයෙන්ම මූල්‍ය අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා ජීවිත රක්ෂණයෙන් ඉටු වන අතිශය වැදගත් කාර්යභාරය ඇතුළුව මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ වැදගත් සංවාද මතුකර ගැනීම සඳහාය. එදා සිට ගත වූ වසර කිහිපය තුළ Blog It වැඩසටහන විශිෂ්ට වර්ධනයක් අත්පත් කරගෙන ඇත්තේ 2022 වසරේ 500කට අධික සහ 2023 වසරේ 900කට අධික මෙන්ම 2024 වසරේ 1,100කට අධික ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් ප්‍රමාණයක් ලබමින්, සහභාගිත්වයන් අඛණ්ඩව ඉහළ නංවා ගනිමිනි. මෙම ඉහළ යෑම් මඟින් මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව ජනතා අවධානය ඉහළ යෑමක් මෙන්ම වැඩසටහන ඔස්සේ මතු කරන ලද අර්ථවත් සංවාදවල වැදගත්කමද පිළිබිඹු වෙයි.       

වැඩසටහනට සහභාගි වූවන්ගේ විශිෂ්ට දායකත්වයන් ඇගයීම සඳහා, යූනියන් ඇෂුවරන්ස් විසින් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග පිරිනමන අතරම, තෝරා ගන්නා ලද නිර්මාණ සමාජ ජාල මාධ්‍ය අවකාශයන් සහ පුවත්පත් ඔස්සේ පළකරමින් ඔවුන්ගේ හඬට වැඩි ඉඩක් ලබාදීමට කටයුතු කර ඇත. සුවිශේෂ දක්ෂතා සැමරීම සඳහා වන මෙම කැපවීම ඔස්සේ ශ්‍රී ලංකාවේ මූල්‍ය දැනුවත්භාවය සහ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා සවිමත් පසුබිමක් නිර්මාණය කිරීමට Blog It වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.     

මෙම වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කරමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මෙසේ පැවසීය: “මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරමින් සැමගේ ප්‍රගතිය සවිබල ගැන්වීම සඳහා වන අපගේ නොසැලෙන කැපවීම විදහාපාන කැපීපෙනෙන සන්ධිස්ථානයක් වන යූනියන් ඇෂුවරන්ස් ‘Blog It Symposium 2025’ පැවැත්වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින්ම සතුටට පත් වෙනවා. ගත වන සෑම වසරක් පාසාම, ලේඛක ලේඛිකාවන්ට සහ මතධාරීන්ට එක්ව කටයුතු කරමින්, අපගේ සමාජයේ අර්ථ සම්පන්න වෙනසකට මුල පුරමින් එය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා පසුබිමක් නිර්මාණය කරදෙමින්, මූල්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැදගත් සංවාද පවත්වාගෙන යෑමට Blog It වැඩසටහන සමත්ව තිබෙනවා. මෙම ගමන්මඟ ඔස්සේ ඉදිරියට යන විට, වඩාත් සුරක්ෂිත සහ සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා සවිබල ගන්වමින්, ශ්‍රී ලංකාව පුරා මූල්‍ය සාක්ෂරතාව තවදුරටත් ඉහළ නැංවීමට අලුත් සහ නවෝත්පාදක මාර්ග සොයා යන්නට අප කටයුතු කරන්නේ මහත් උද්‍යෝගයෙන්”.

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 දෙසැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 36.5ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 77.5ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,300කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.