බැංකු පහසුකම්හි විප්ලවීය වෙනසක් සිදු කිරීම වෙනුවෙන් LB Finance PLC, Huawei සමඟ එක්වේ

බැංකු පහසුකම්හි විප්ලවීය වෙනසක් සිදු කිරීම වෙනුවෙන් LB Finance PLC, Huawei සමඟ එක්වේ

ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන LB Finance PLC, සිය මූලික බැංකු පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා Huawei සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඩිජිටල් මුදල් පසුම්බි, ඩිජිටල් බැංකුකරණය, ණය, ලීසිං, ඉතුරුම් සහ තැන්පතු, ක්ෂුද්‍ර මූල්‍ය සහ ගෙවීම් කාඩ්පත් ඇතුළු LB Finance හි සේවා පහසුකම්, Huawei හි අති නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් වැඩිදියුණු කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතයි.

LB Finance විසින් Huawei හි OceanStor Dorado 5000 All-Flash storage systems වෙත ප්‍රවේශ වීම මෙම ක්‍රියාවලියේ සන්ධිස්ථානයයි. මෙම අති නවීන cloud-ready systems නිර්මාණය කර ඇත්තේ අධිවේග ගනුදෙනු, මහා පරිමාණ දත්ත සැකසීම සහ තත්‍ය කාලීන අධීක්‍ෂණය, තීරණාත්මක දත්ත මෙහෙයුම්වල අඛණ්ඩතාව සහ ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහායි.

LB Finance සතුව පැවති storage infrastructure වෙනුවට Huawei OceanStor Dorado පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම පසුගිය 2023 වසරේ නොවැම්බර් මාසයේදී සිදුවිණි. මේ සඳහා ගතවූ කාලය සති තුනක් තරම් කෙටි වීම පුදුමයට කරුණකි. තවද එමඟින් ඉල්ලුම අධික කාලයේදී පවා බාධාවකින් තොරව කටයුතු සාර්ථකව කරගැනීමට හැකිවීම ද ලද සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම නව පද්ධතිය මෙහෙයුම් ආරම්භ කළ දින පටන් LB Finance සතු virtual servers, databases, application servers, development environments සහ  AI/BI tools ඇතුළු නිෂ්පාදන සේවා සහ දත්ත නව පද්ධතිය වෙත ගමන් කරයි. තප්පරයට සිදුකරන ආදාන/ප්‍රතිදාන මෙහෙයුම් කාර්ය සාධනය (IOPS), ස්ථායීතාවය සහ ප්‍රතිචාර දැක්වීමේ කාලයන්හි සිදුවූ අසාමාන්‍ය වර්ධනය නිසා මෙහෙයුම් පීඩනය අඩු වීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නංවාලීම සිදුවේ.

මෙම හවුල්කාරිත්වය, LB Finance හි ඩිජිටල් පරිවර්තනය සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි. තවද විශිෂ්ට මූල්‍ය සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය තාක්ෂණය අඛණ්ඩව වැඩිදියුණු කිරීම වෙනුවෙන් සමාගම කැපවී සිටී. ශීඝ්‍රයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ලෝකය තුළ, අති නවීන තාක්ෂණයන් භාවිතයෙන් සිය ගනුදෙනුකරුවන්ට මූල්‍ය තාක්ෂණයේ නවෝත්පාදනයන් ලබා දීම LB Finance හි අභිප්‍රායයි.

LB ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “Huawei, පුළුල් පරාසයක සේවාදායක අවශ්‍යතා වෙනුවෙන් වේගවත් සහ ශක්තිමත් විසඳුම් ලබාදෙන විශ්වසනීය හවුල්කරුවෙකු බව යළි තහවුරු කර තිබෙනවා. ඔවුන්ගේ විශිෂ්ට සේවාව තුළින් අපගේ දත්ත මධ්‍යස්ථානයේ විශ්වසනීයත්වය සහතික කිරීම නිසා අපේ මෙම හවුල්කාරිත්වය තවත් ශක්තිමත් වෙනවා. අපි සිදුකරන ලද ඇගයීම්වලින් Huawei  ප්‍රියතම තේරීම බවට පත්වූ අතර අධික ඉල්ලුමක් සහිත තත්වයන් යටතේ වුවද නිෂ්පාදන සහ ද්විතියික පරිසරයන් යන දෙකෙහිම එහි කාර්යක්ෂමතාවය පෙන්නුම් කරනවා.”

Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze මේ පිළිබඳ ඔහුගේ අදහස් එක් කළේ මෙසේය.”Huawei හි ඩිජිටල් ගමනේදී LB Finance සමඟ හවුල් වීමට ලැබීම සතුටක්. කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අනාගත වර්ධනය සඳහා සහායක් වන විසඳුම් ලබාදීමට අපගේ ඇති කැපවීම මෙම හවුල්කාරිත්වයෙන් මනාව පිළිඹිබු වෙනවා. පුරෝගාමී ඩිජිටල් නිෂ්පාදන හඳුන්වාදීම සඳහා LB Finance සවිබල ගැන්වීම අපගේ අරමුණයි.”

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සේවාවල පුරෝගාමියා වීමේ අභිප්‍රාය සපුරා ගැනීම සඳහා Huawei සමඟින් සිය ඩිජිටල් ගමන අඛණ්ඩව කරගෙන යාමට LB Finance කැපවී සිටී. නවෝත්පාදන සහ විශිෂ්ටත්වය තුළින් සිය පාරිභෝගිකයන් වෙත අසමසම වටිනාකමක් ලබාදීමට LB Finance සහතික වේ.